ලොව පළමු වර්ණ මාලාව හෙවත් අක්ෂර මාලාව එසේත් නැතිනම් හෝඩිය නිර්මාණය කළේ මිසරයේ වැසියන් යැයි දශක ගණනක් තිස්සේ පවත්නා පිළිගැනීමය. මිසරය යනු පුරාණ ඊජිප්තුවය. මිසරයේ රජවරුන් හැඳින්වෙන්නේ පාරාවන් යනුවෙනි. ඒත් මිසර වැසියන්ගේ ඒ අක්ෂරවලට අභියෝග කරමින්, ඊටත් වඩා පැරැණි අක්ෂර සොයා ගැනීමට පුරාවිද්‍යාඥ කණ්ඩායමක් පසුගියදා සමත් වූහ. මෙම නව සොයා ගැනීම, සමහර විට මානව ඉතිහාස කතාව වෙනස් කරන එකක් වනු නිසැකය.
මෙම ඉපැරණි අක්ෂර මාලාව ලොවට අනාවරණය කළේ ඇමෙරිකාවේ මේරිලන්ඩ් ජනපදයේ, බෝල්ටිමෝර් නුවර, ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකි. ඔවුන්ට හමුවුණු කුඩා මැටි සිලින්ඩර කීපයක මෙම ඉැපරැණි අක්ෂර කැටයම් කර තිබේ. ඇඟිල්ලක් තරම් ප්‍රමාණයේ මෙම කුඩා සිලින්ඩර හමුවී ඇත්තේ වයඹදිග සිරියාවේ කළ පුරාවිද්‍යාත්මක කැණීම්වලදීය. ටෙල්-උම්-එල්-මාරා නමැති ඉපැරැණි වෙළෙඳ නගරය මෙහි පිහිටා තිබුණු බව පුරා විද්‍යාඥයන්ගේ අදහසය. ටෙල්-උම්-එල්-මාරා අතීතයේ වෙළෙඳ නගරයකි; ප්‍රධාන වෙළෙඳ මාර්ග දෙකක් එකිනෙක හමුවුණු නගරයකි.
කාබන් පරීක්ෂණවලින් කාල නිර්ණය කළ බැලූ විට, අක්ෂර කෙටූ මෙම මැටි සිලින්ඩර වසර 4,400 කට පෙර ක්‍රි.පූ. 2400 දක්වා දිවයයි. එසේ නම්, සිලින්ඩරවල ඇති අක්ෂර මිසර අක්ෂරවලට වඩා වසර 500 ක් පැරැණිය. අක්ෂර කෙටූ සිලින්ඩර කිසියම් දෙයක් ලේබල් කිරීමට යොදා ගන්නට ඇතැයි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය ග්ලෙන් ෂ්වාට්ස්ගේ අදහසය. ඇතැම්විට, නැව් මගින් ප්‍රවාහනයට සූදානම් කළ වයින් වැනි බීම වර්ගයක් ලේබල් කිරීමක් මෙම මැටි සිලින්ඩර සහ ඒවායේ කෙටූ එම සුවිශේෂ අක්ෂර යොදා ගනිමින් සිදු කරන්නට ඇතැයි මහාචාර්ය ග්ලෙන් ෂ්වාට්ස් අනුමාන කරයි. ‘ඒත් අපට ඒ ලියලා තියෙන්නේ මොකක්දැයි හරියටම කියවන්න බැහැ. හේතුව මේ අකුරු අපට සම්පූර්ණයෙන් ම ආගන්තුකයි. මේවා මෙතෙක් අප හඳුනාගෙන ඇති භාෂාවක අකුරු නොවෙයි. මීට පෙර මෙවැනි අකුරු අපට හමුවී නැහැ. සමහරවිට ඉදිරියේ දී තවත් මෙවැනි අකුරු සොයා ගැනීමට හැකි වුවහොත්, ඒවා අධ්‍යයනය කරමින් ඒ අකුරුවලින් කියැවෙන්නේ කුමක්දැයි වටහා ගන්න අපට හැකිවේවි’ යැයි මහාචාර්යවරයා පැහැදිලි කරයි.
මේ අපූරු මැටි හමුවූ ප්‍රදේශය අයත් වන්නේ වර්තමාන සිරියාවටය. අද සිරියාවේ ඇත්තේ අස්ථාවර රාජ්‍යයකි. මැදපෙරදිගට අයත් රාජ්‍යයක් වන සිරියාව, සිවිල් යුද ගැටුම් සහ අයි.එස්.අයි.එස් ත්‍රස්ත තර්ජන හමුවේ වසර ගණනාවක් තිස්සේ යුද පිටියක් වී තිබුණි. සිරියාවේ ජනාධිපති බෂීර් අල් අසාද් බලයෙන් නෙරපා දැමීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් උත්සාහ කළේ ඇමෙරිකාව සහ ප්‍රංශය ලබා දුන් අවි ආයුධ උදවු කර ගනිමිනි. එහෙත් එම අවි ආයුධවලින් ශක්තිමත් වී ලොවට තර්ජනයක් වූයේ අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයයි. සිරියානු සිවිල් යුද්ධය ඇරැඹුණේ 2011 වසරේදීය. අද සිරියාවේ අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයේ කටයුතු අඩපණ වී ඇති නමුත් සිරියානු සිවිල් යුද්ධය තවමත් අවසන් වී නැත. සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රෙජීමය පෙරළා දැමීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් තවමත් උත්සාහ ගනිමින් සිටිති.
මහාචාර්ය ග්ලෙන් ෂ්වාට්ස් සහ ඔහුගේ කණ්ඩායම, වයඹදිග සිරියාවේ ටෙල්-උම්-එල්-මාරා පුරාණ නගරය පිහිටි භූමිය කැණීම් කළේ 2004 වසරේ පටන්ය. පුරා විද්‍යාඥයන්ට අනුව, ටෙල්-උම්-එල්-මාරා වෙළෙඳ නගරය පිහිටුවනු ලැබ ඇත්තේ ක්‍රි.පූ. 2,700 දී තරමය. ඒ කාලයට අයත් මේ අක්ෂර සහිත මැටි සිලින්ඩර සොයා ගනු ලැබුවේ ද 2004 වසරේය. එම සිලින්ඩර මේ දක්වා සුරැකිව තබා ගනිමින්, ඒවා අධ්‍යයනය කරමින්, කාල නිර්ණය කරමින්, අවසානයේ එහි ඇත්තේ නම අක්ෂර මාලාවක් යැයි තහවුරු කිරීමට මහාචාර්ය ෂ්වාට්ස් ප්රමුඛ ඔහුගේ කණ්ඩායමට වසර 20 ක් ගතවිය. මහාචාර්ය ෂ්වාට්ස් පසුගිය 21 වැනිදා, මැසචුසෙට්ස් හි හිල්ටන් බොස්ටන් පාර්ක් ප්ලාසා හි පැවැත් වූ ඇමරිකානු විදෙස් පර්යේෂණ සංගමයේ වාර්ෂික රැස්වීමේදී මෙම ඉපැරණි අක්ෂර හෝඩිය ගැන කරුණු කාරණා සියල්ල ලොවට අනාවරණය කළේ රැස්ව සිටි පිරිස මවිතයට පත් කරමිණි.
ටෙල්-උම්-එල්-මාරා නගරයේ කළ කැණීම්වලින් නටබුන් රැසක් සහ සොහොන් ගෙවල් ද සොයා ගැනීමට ද විද්‍යාඥයෝ සමත් වූහ. මෙම නගරය මුල් ලෝකඩ යුගයට අයත් යැයි පැවැසෙයි. සොහොන් ගෙවල්වල තිබී ඉතාමත් හොඳින් ආරක්ෂා වූ මමීකරණයට ලක් කළ මළසිරුරු හයක් සොයා ගැනුණි. ඒ, රන් රිදී ආභරණ ද සමඟිනි. ටෙල්-උම්-එල්-මාරා නගර වැසියෝ දක්ෂ කුඹල්කරුවන් යැයි තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි රැසක් මැටි භාජන සමග හමුවී තිබේ. මේ අක්ෂර ලියූ මැටි සිලින්ඩර හමුවී ඇත්තේ ද ඒ මැටි භාජන සමගය.
මේ මැටි සිලින්ඩරවල සටහන් කර ඇති සංකේත කිසියම් පුරාණ භාෂාවක අක්ෂර විය හැකියැයි විද්‍යාඥයන් නිගමන කර ඇත්තේ ඒවා බසක් හඬ ගැන්වීමේදී යොදා ගන්නා විවිධ ශබ්ද, සංකේතවලින් ලියා දැක්වීම සඳහා යොදා ගන්නා ලද මෙතෙක් සොයා ගෙන ඇති පැරණි අක්ෂරමාලා සමග සැසැඳීමෙනි.
මෙහිදී ශබ්ද හැඳින්වීමට යොදා ගන්නා ලද ඒ සංකේතවලට වර්ණ හෙවත් අක්ෂර යැයි කියනු ලැබීය. අතීතයේ දී, බස ලියා දැක්වීමට, අක්ෂර මෙන් රූප ද භාවිතයට ගෙන ඇත. මිසර, බැබිලෝනියා හා මොහෙන්දජාරෝ වැනි ඉපැරණි ශිෂ්ටාචාරවලින් මේ සඳහා උදාහරණ හමුවී ඇත. චීන සහ ජපන් අකුරු ද එබඳුය. පුරාවිද්‍යාඥයන්ගේ දැනට පවත්නා පොදු පිළිගැනීම වන්නේ මුල්ම හෝඩිය, මිසරයේ පතල්කරුවන් විසින් භාවිත කළ බවය. ඒ, ක්‍රි.පූ. 1,900 දීය. ඔවුන් ඔවුන්ගේ හෝඩිය එසේත් නැතිනම් අක්ෂර මාලාව නිර්මාණය කර ගත්තේ රූපාක්ෂර යොදා ගනිමිනි. රූපාක්ෂර නිර්මාණය කර ගත්තේ ඔවුන් දුටු දේවල් රූපයට නැඟීමෙනි. මෙම අක්ෂර මාලාව සකස් කිරීමේදී එහි සංක්‍රමණය වුණු කම්කරුවන්ගේ දායකත්වය ද ලැබෙන්නට ඇතැයි පැවැසෙයි. පසුව මෙය බටහිර ආසියාවට අයත් නැගෙනහිර මධ්‍යධරණිය තෙක් ව්‍යාප්ත විය. ඒ ක්‍රි.පූ. 1300 දීය. එතැන් පටන්, මධ්‍යධරණිය හරහා සංක්‍රමණය වූ එම අක්ෂර පසුව ග්‍රීක සහ ලතින් අක්ෂර බවට පත් විය. ග්‍රීක සහ ලතින් හෝඩිය නිර්මාණය වූයේ එලෙසිනි.
- ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි.
0 Comments